Wednesday, June 4, 2014


අවුරුදු 5 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා ඇහුවා ''ආදරෙයි කියන්නේ මොකද්ද'' කියලා.

අවුරුදු 15 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා ලැජ්ජාවෙන් හිනාවෙලා බිම බලා ගත්තා.
අවුරුදු 20 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා ඔයාගේ මූණ මගේ පපුවට තද කරලා මගේ අත තදින් අල්ල ගත්තා.
අවුරුදු 25 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මට උදේ කෑම හදල දීලා නළලට හාදුවක් දීලා මට කිව්වා ''වැඩට යන්න පරක්කු වේවි, ඉක්මන් කරන්න'' කියලා.
අවුරුදු 30 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මට කිව්වා ''ඔයා මට ඇත්තටම ආදරෙයි නම් අද කලින් ගෙදර එන්න'' කියලා.
අවුරුදු 40 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මට කිව්වා ''මම දන්නවා අනේ, පුතාට home work කරන්න උදව් වෙන්න'' කියලා.
අවුරුදු 50 දී ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මහමින් හිටපු ඇඳුම දිහා බලාගෙනම යන්තමට සිනා සුනා.
අවුරුදු 60 දී මම ඔයා මට ලියලා එවපු මුල්ම ලියුම අතේ තියාගෙන කියවන අතරේ ''මම ඔයාට ආදරෙයි'' කිව්වම ඔයා මගේ අත් දෙක තදින් අල්ල ගෙන මගේ මූණ දිහා බලගෙන හිටියා.

අවුරුදු 70 දී මම රෝහලේ ඇඳේ ඉන්නකොට ඔයා ''මම ඔයාට ආදරෙයි'' කිව්වම මට මොනවත් කියාගන්න බැරුව ඇඬුනා.

අපි ගොඩාක් වෙලාවට අපි ආදරේ කරන කෙනා ''මම ඔයාට ආදරෙයි'' නැතිනම් ''I Love You'' කිව්වම පිළිතුරු විධියට ''මමත් ඔයාට ආදරෙයි'' හෝ ''I Love You Too'' කියල කියනවා බොහෝ දුරට අඩුයි. ආදරේ පෙන්නන ක්‍රම බොහෝමයක් තිබුනත් අපි කවුරුත් ආසයි අපි අනිත් කෙනාට ආදරෙයි කිව්වම ඒ කෙනත් අපිට ආදරෙයි කියලා කියනවා නම්. මේ දේ අත් විඳපු අයත් ඇති, ඒ අයට වගේම ආදරේ කරන හැම දෙනාටම මේ අදහස වැදගත් වේවි කියලා හිතනවා.

Monday, June 2, 2014



"දිලීපා, පොඩ්ඩක් ඔහොම ඉන්න." පොත් ටිකක් තුරුළු කරගෙන කලබලෙන් වගේ දුවන දිලීපාට මම කෑගැහුවා. එයා මං දිහා හැරිලා බැලුවේ 'ඇයි' කියන බැල්මෙන්.
"අපිට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද?" ඒ ප්‍රශ්නෙට දිලීපා ටිකක් ගැස්සුනා. අපි ඔය එහෙන් මෙහෙන් දැකපු වෙලාවට හිනා වෙලා ඔලුව වනල යනවා මිසක් එතැනින් එහාට වැඩිය කතා කරන්නේ නෑනේ.
"බයවෙන්න එපා, ඔයා මාත් එක්ක කතා කළා කියල ලෝකේ ලොකුම කාම අපරාධේ කළා වෙන්නේ නෑ." මම කිව්වේ කට කොනේ හිනාවකුත් එක්කයි.

"අනේ මේ, ඔයා මට අමුතුවෙන් අපරාධ ගැන උගන්නන්න ඕනේ නෑ."

දිලීපා මං දිහා බලාගෙන හිටියේ අමුතු මූණක් හදාගෙන. මම එයාගේ අතින් අල්ලාගෙන වාඩි වෙන්න තැනක් හොයාගෙන ගියා. දසත පැතිරුණු නුග ගහක් යට සුදු පාට කොන්ක්‍රීට් බංකු තිබුණා. මම අතින් සන් කළේ එතැනින් ඉඳගමු කියල. අපි දෙන්න වාඩිවෙලා මුහුණට මුහුණ බලාගත්තා.

"මේක ව්‍යාපෘතියක් වෙනුවෙන් කරන සමීක්ෂණයක්, ඔයාට කරන්න තියෙන්නේ මම අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න." දිලීපා සැකෙන් වගේ ඔලුව වැනුවා.

"හරි එහෙනම් මෙන්න පලවෙනි ප්‍රශ්නය, ඔයාට කව්රුහරි ආදරේ ප්‍රකාශ කළොත් ඔයාගේ ප්‍රතිචාරය වෙන්නේ මොකද්ද?"

"හ්ම්, ඒක අවස්ථාව, පුද්ගලයා අනුව වෙනස් වෙනවා."

"ඒ කියන්නේ ඔයා අවස්ථාවාදීයි?"


"මෙහෙමයි, ඒ වගේ වෙලාවට එහෙම වෙන්න වෙනවා."

"එහෙම ආදරය ප්‍රකාශ කරන කෙනා මම නම්?"

"එතැනදී අවස්ථාව ගැන ගැටළුවක් එනවා."

"ඒකියන්නේ පුද්ගලයා ප්‍රශ්නයක් නෙමේ?"

"ඔයාගේ ඔය සමීක්ෂණයට ඒවත් අදාලද?"

"හරි දෙවැනි ප්‍රශ්නය, අසම්මත ආදරය ගැන ඔයාගේ අදහස මොකද්ද?"

"අසම්මත සම්මත කියල ආදරය බෙදන්න බැහැ."

"අපි දෙන්න අතර සම්බන්ධයක් ඇති වුණොත්?"

"වෙන්න පුළුවන් දෙයක් ගැන කතා කරමුද?"

"ඉතින් ඒකනෙ අසම්මතයි කියන්නේ, සාමාන්‍යයෙන් නොවෙන දේ නේ. කොහොම හරි තුන්වෙනි ප්‍රශ්නය, 

ඔයා ආදරය කරන කෙනා කොයි වගේ වෙන්න ඕනද?"

"එයා කොයි වගේ වත් වෙන්න ඕනේ නෑ. එයා එයාම වුණාම විතරක් ඇති. නිකන් රූකඩ වගේ මිනිස්සු මට වැඩක් නෑ."

"ම්ම්,,, ඊළඟ ප්‍රශ්නේ, ඔයා ආදරේ කරන කෙනාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද?"

"මොනවත් නෑ."

"ඒ කිව්වේ?"

"මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ. මොනවත් බලාපොරොත්තුවෙන් කෙනෙක්ට ආදරේ කරනවානම් ඒක ආදරේ වෙන්න බෑ, එහෙනම් ඒක බිස්නස් එකක්, ආත්මාර්ථකාමී කමක්."

"ඔයාට ආදරේ කරන කෙනා මම නම් ඔයා මගෙන් මොනවත් බලාපොරොත්තු වෙන්නේ නැද්ද?"

"කරුණාකරලා, අවශ්‍ය ප්‍රශ්න විතරක් අහනවද?"

"පස්වෙනි ප්‍රශ්නය, ඔයා ලව් ඉන් ෆස්ට් සයිට් විශ්වාස කරනවද?"

"කොහෙත්ම නෑ, එකපාරක් දැක්ක ගමන් ආදරයක් ඇතිවෙන්න විදිහක් නෑ ආශාවක් මිසක්. ඒ--"

"මම ඔයාට ආදරෙයි."

"මොකද්ද?"

"මම ඔයාට ආදරෙයි." මම දෙවැනි වතාවටත් උත්සහ කළේ වචන එකින් ඒක ඈත් කරමින් ශබ්ද නගා උච්චාරණයෙන්.

"මං දැන ගත්තා ගොනා හැරෙන කොටම." දිලීපා දඟ හිනාවක් දැම්මා.
මට ඒ වෙලාවේ මොනවද කරන්න ඕනේ කියල හිතාගන්න බැරිවෙලා මම ගල් වුණා.
'ඔයා ඉතින් මොකද ඒ ගැන කියන්නේ?' 'ඔයත් මට කැමතිද' වගේ ප්‍රශ්න ඇසිය යුතු වුණත් මම ඇහුවේ නෑ. අනික ඒවා අහන්නේ නැතිවම වුණත් දිලීපා මට කැමතියි කියල දැනුනා. එයා බංකුවෙන් නැගිටලා මගේ අතින් ඇදල "අපි යමු" කිව්වා.
මගේ ඔලුව වැනුණේ ඉබේටමයි.

Sunday, June 1, 2014

Posted by ChAbhi | File under :

1. දෙදෙනාම එක විට තරහ ගන්න එපා. එක් අයෙක් තරහ වූ විට ඔහු හෝ ඇය සන්සුන් වෙන තෙක් නිහඬව සිටින්න.  දෙදෙනාම එකවිට තරහා ගැනීමෙන් සිදුවන්නේ ප්‍රශ්නය දුර දිග යාම පමණි.

2. කිසිවිටක එකිනෙකා සමග බහින්බස් වෙන්න එපා. චෝදනා කරන්නට යන්නත් එපා. සුහදව කතාබස් කර ප්‍රශ්නය විසඳාගන්න.

3. එක් අයෙකුට දිනීමට අවශ්‍ය නම් ඔහුට හෝ ඇයට ඊට ඉඩ දෙන්න. ඔබටත් දිනීමට පසුව අවස්ථාවක් ලැබෙයි.

4. ඔබට ඔහුව හෝ ඇයට විවේචනය කිරීමට අත්‍යවශ්‍යම නම් එම විවේචනය ආදරණීය ලෙසට සිත නොරිදෙන අයුරින් කිරීමට මතක තබා ගන්න.

5. අතීතයේ සිදුවූ වැරදි යළිත් මතක් නොකර සිටීමට පුරුදු වන්න.

6. මුලු ලොවම ගැන අමතක කරත් එකිනෙකා ගැන හැම විටම මතකයේ තබා ගන්න.

7. විසඳා නොගත් ප්‍රශ්න සමග කිසිවිටක නින්දට නොයන්න.

8. දිනකට අඩුම තරමේ එක් වතාවක් ඔහුට හෝ ඇයට කරුණාවෙන් සහ ආදරයෙන් වචන කිහිපයක් හුවමාරු කරගන්න. දරුවන් සිටීම මෙයට බාධාවක් කර නොගන්න.

9. ඔබ අතින් වැරදි යමක් සිදුවූවා නම් වරද පිළිගෙන ඔහු හෝ ඇයගෙන් වරදට සමාව අයදින්න. ඔබ පිරිමියකු වුවත් ඇගෙන් සමාව ඉල්ලීම නින්දාවට හෝ ලජ්ජාවට කරුණක් නොවන බව වටහා ගන්න.

10. රණ්ඩුවකට සැම විටම දෙදෙනෙක් හෝ වැඩි පිරිසක් අවශ්‍ය බව සිහිතබා ගන්න. දෙදෙනාගෙන් එක් අයෙකුවත් ගැටුමට යොමු නොවීමෙන් ගැටලු ඇති වීම අවම කරගැනීමට පුලුවන් බව සිතට ගන්න.

ඔන්න ඔය කරුණු ටික සිහි තබා ගන්න පුලුවන් නම් ඔබගේ විවාහ දිවියත් සුන්දරත්වයෙන් පිරි එකක් වනවා නිසැකයි.